Arowana සමග පළමු සතිය (Part II)

මම හිතනවා ඔයාලා "Arowana සමග පළමු සතිය (Part I)" එක කියවන්න ඇති කියලා. නැත්නම් මේ post එකේ පහළ තියෙනවා link එක. ඒකත් කියවීම වැදගත්. දැන් බලමු දින 7 ගෙවුන විදිය.

සියළු කාල වේලාවන් ආසන්නම මිනිත්තු 30ට වටයා ඇති බව සලකන්න.😆

1 දින:
සෙනසුරාදා (05.08.2017) හවසක තමයි මම මාළුවා අරන් ආවේ. පැයක පමණ ගමන් කාලයක් සහා තවත් පැයක කාලයක් (වතුරේ උෂ්ණත්වයට හුරු වීමට සහ ගෙදර සියළු දෙනා පැමිණෙනකන්) මාළුවා හිටියේ කඩෙන් දෙන polythene bag එකේ. මේ දෙවන පැය තුල පහළ පින්තූරයේ ඇති Special Arowana Guard මිශ්‍රනය (Arowana මිලදී ගත් කෙඩෙන්ම මිලදී ගත්තේ) නියම මාත්‍රාව පරිදි ටැංකියේ වතුර එකට mix කරා. ටැංකියේ ජලය එම දවසේම දවල් 1ට පමණ නිවසේ water tank එකෙන් පිරිව්වේ. 7.30pm වලට වගේ තමයි Arowanaව ටැංකියට මුදා හැරියේ.

මට කඩෙන් සහ අනෙක් Arowana ඇති කරන අයගෙන් ලැබුන උපදෙස තමයි "දවස් දෙක තුනක් ගත වෙනකන් Arowana කෑම කන එකක් නෑ", ඒක නිසා කවන්න කළබල නොවී හෙමීට කන්න දෙන්න කියලා දවස් කිහිපයකින්. මේ පිළිබදව වැඩිදූර අධ්‍යනය කරද්දී මට දැනගන්න ලැබුනේ සමහර විට සති 1ක්/2ක් පවා නොකා ඉන්න ඉඩ ඇති බවයි.

Tank එක ළගට යද්දිම Arowana ඈතට යනවා, තාම ඉතින් tank එක හුරු නෑනේ. එදා හවස Arowanaට කන්න දුන්නේ නෑ. එයා tank එකේ වටේට හොදින් පීනමින් tank එක අධ්‍යනය කර කර හිටියා එයා.

2 දින:
උදෙන්ම දකින්නේ ලැබුනේ මම driftwood එකක ඉන්දලා තිබ්බ Anubias Nana Plants 3කින් එකක් Arowana රෑ උගුල්ලලා ඒක පාවෙනවා. ඕවා ඉතින් සාමාන්‍ය දේවල් Arowanaලට. මම ළගට ගියාම තාම ඈතට පීනනවා. හැබැයි මම පොඩ්ඩක් ඈතින් ඉදන් ඉන්නකොට මගේ ළගට එන්න වගේ වීදූරුව තල්ලු කරන්න වගේ පීනනවා, අර normally මාළු බඩගිනි උනාම පීනන විදියට. මම ඒත් කෑම දෙන්න හිතුවේ නෑ, මොකද එහෙම කරන්නේ බඩගින්නටමද කියලා sure නැති නිසා. අනිත් එක tank එකට දාලා එතකොට පැය 14ක් වගේ තමයි ගත වෙලා තිබ්බෙත්. කන්නේ නැතුව කෑම එක තිබ්බොත් ඒක අයින් කරන්න වෙනවා, එහෙම කරන්න යද්දි තව මාළුවා බය වෙන්න පුළුවන්. 

තවත් ටිකක් බලන් ඉද්දී අර පාවෙන Anubias plant එක මෙයා කන්න වගේ හදනවා, කටට ගන්නවා, පස්සේ එළියට විසි කරනවා. Arowanaලා පැල කන්නේ නෑනේ. සමහර වෙලාවට ලොකු air bubble එකක් පාවෙලා යද්දී ඒක පන්නන් යනවා කන්න වගේ. මට එවෙලේ හිතුනා දැන්නන් හොදටම බඩගින්නේ ඉන්නේ, කෑම ටිකක් දෙන්න ඕන කියලා.

මට කඩෙන් මෙයාට කන්න කියලා දුන්නේ Hikari Food Sticks කියන එක. (මම ඒ brand එකෙන් දෙන්න කිව්වා, ඒක නිසා වෙන්න ඇති ). යට තියෙන්නේ ඒ packet එකේ photo එකක්. ඕකෙන් එක කරලක් අරන් ටැංකියට දාලා මම පොඩ්ඩක් පස්සට උනා, මොකද තාම මෙයා මම ළගට එනකොට ඈතට යන නිසා. මාවත් පුදුමයට සහා සතුටට ලක් කරමින් මෙයා ඒක කෑවා. මාළුවෙක් කෑම කනවා කියන්නේ එයා සතුටින් සහා පහසුවෙන් ඉන්නවා කියන එක. පස්සේ මම තව කරල් දෙකක් දැම්මා, එකක් කාලා අනිත් එක එළියට විසික් කරා කටෙන්. ඒක ඉතින් තියන්නත් බෑනේ, පොඩි දැලැක් දාලා ඒ කෑල්ල අරන් දැම්මා. එදා දවසටම එච්චර තමා කන්න දුන්නේ. ටිකක් වෙලා යද්දී අර ඉස්සෙල්ලා වගේම කෑම ඉල්ලනවා වගේ වීදුරුව ගාවට ආවා. ඒවුනාට මම කන්න දුන්නේ නෑ එක පාරක් දුන්න නිසා සහා අන්තිම කරල කාපු නැති නිසා.
එයා කඩේදි ගොඩාක් Arowanaලා එක්ක හිටිපු නිසාද කොහෙද දැන් එයාට ටිකක් කම්මැලි වගේ. ඈනුම් එහෙම යනවා ඉදලා හිටලා. ළගදිම එයාට යාලුවෝ දෙතුන් දෙනෙක් ගේනවා. දෙවෙනි දවසට ඔය ටික තම විස්තරේ.

3 දින:
තුන්වෙනි දවසෙත් කන්න දීලා බලනකන් ඉතින් ආසාවේ බෑ. කලින් දවසේ වගේම එදා රෑත් තව Anubias Nana Plant එකක් උගුල්ලලා. රෑ හොදටම බඩගිනි වෙන්න ඇති. Tank light එහෙම දාලා පොඩ්ඩක් වෙලා ළගට වෙලා හිටියා මම, එදා වගේම පාවෙන පැලේ කන්න හදනවා. ටික වෙලාවකට පස්සේ උදේ 10ට විතර මම කරලක් දීලා පස්සට උනා. තාමත් කලින් දවසේ වගේම පොඩ්ඩක් මම ළගට යද්දී බයයි එයා. කෙලින්ම ඒ කරල ගිලලා දැම්මා. දෙවෙනි දවසෙත් දෙකක් කාපු නිස බය නැතුව දෙවෙනි කරලත් දැම්මා, ඒකත් කෑවා. තුන් වෙනි එක දාන්න හිතුනේ නෑ දෙවෙනි දවසේ උන සිද්දිය නිසා. හැබැයි දැන්නන් දිගටම මේයා වීදුරුවට කොට කොට කෑම ඉල්ලනවා. හවස් වෙලා තව කරලක් දෙකක් දෙනවා කියලා මම හිතා ගත්තා.

හවස 4ට විතර මම ආයේ යනකොට අඩියට වෙලා ඉන්නවා මෙයා. මම හිතන්නේ මහන්සියට. කලින් දවස්වල නිදහසේ නිදා ගත්තේ එහෙම නැතුව ඇති. පාළුත් ඇති කවුරුවත් නැති නිසා. හැබැයි මාව දැක්ක ගමන් දඩි බිඩි ගාලා ආවා උඩට. ආයෙමත් ඉතින් කෑම ඉල්ලනවා. මේ පාරනන් කරල් 3ක්ම බඩට දාගත්තා. තව ඉල්ලුවට තව දුන්නේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ කෑම වැඩි කරන එක හොදයි කියලයි මට හිතුනේ.

4 දින:
  • අද උදේ කෑම කරල් 4යි.
  • හවස කෑම කරල් 5යි.
හවස කෑමට කලින් Arowanaට අලුත් යාළුවෙක් ගෙනාවා. කම්මැලිකම් යන්න කියලා ගෙනාවට මොකද යාළුවා ඊට වඩා කම්මැලියෙක් 😅. ඇත්තටම කිව්වොත් එයාව ගෙනාවේ Arowanaගේ කම්මැලිකමටම නෙමෙයි. ඔයාලට මතක ඇති නේ ගෙනල්ලා දෙවෙනි දවසේ කන්න දුන්න 3 වෙනි කරල Arowana කටට අරන් එළියට දැම්මා කියලා. ඒ කරල අඩියට වැටුනාම කන්න කෙනෙක් හිටියනන් මට කරදර වෙන්න වෙන්නේ නෑ ඒක අයින් කරන්න. ඒ වගේ දෙයක් වෙනවට තමයි අළුත් යාලුවාව ගෙනාවේ. මොකද අනාගතේදි නැවත ඔය දේ වෙන්න පුළුවන්. Arowanaලා කෑම strike කරන අවස්ථා නැතුවම නොවෙයිනේ (තාමනන් නෑ). මෙයා ඉතින් යට වැටෙන එවා ගැන බලාගනී.

කව්ද මේ යාළුවා?  "Polypterus endlicheri endlicheri" (විද්‍යාත්මක නාමය) එහෙමත් නැතිනම් "Saddled Bichir". මෙයත් දිගින් Arowanaගේ sizeම තමයි තාම. Arowanaනන් එච්චර මෙයාව ගනන් ගන්න පාටක් නෑ. මේ article එක Arowana ගැන උනාට කෙටියෙන් මේ අළුත් ‍යාළුවා ගැනැත් පොඩි විස්තරයක් බලමු. සමහර අවස්ථාවලදී Bichirලත් කෑම නොකා දින ගනන් සිටින බව තමයි මට දැනගන්න ලැබුනේ. කොහොමත් tank එකට දාලා තාම පැය කිහිපයයි නේ, tank එකේ තියෙන කොටයක් උඩට වෙලා ඉන්නවා. Arowanaට කන්න දුන්න වෙලාවෙත් කන්න උනන්දුවක් පෙන්නුවේ නෑ. ඇස් පෙනීම මදක් දුරුවල අතර සුවදින් තමයිලු කෑම සොයාගන්නේ. Bichirලට වතුරෙන් පිට ගොඩාක් වෙලාවක් ඉන්නත් පුළුවන්ලු. ඉතාමත් පණ හයිය මාළුවෙක් ලෙස තමයි සැලකෙන්නේ.


තාමත් ඉතින් Arowanaව active තියන්න active මාළුවෙක් හම්බවුනේ නෑ. මගේ හිතේ ඉන්න ජාතිය හම්බවෙච්ච් ගමන් එයින් ජෝඩුවක් ගෙනල්ලා දාලාම ඒ ජාතිය ගැනැත් කියන්නන්.

5 දින:
  • අද උදේ කෑම කරල් 5යි.
  • හවස කෑම කරල් 5යි.
තාම Bichirනන් කන්න උනන්දුවක නෑ. එයාටත් එක්ක කියල වැඩියෙන් දාන්නත් බෑ එතකොට Arowana over feed වෙනවා. මම දාන කෑම එක පාවෙන එකක් නිසා Bichir ඒක නොදකිනවා වෙන්නත් පුළුවන් මොකද Arowana තප්පර 10න් විතර දාන ඔක්කෝම ටික ගිලිනවා. තව දවස් කිහිපයක් බලලා ඒත් එයා කන්නේ නැත්තන් අපි මොනාහරි කරන්න බලමු.

හැමදාම දාන කෑම කරල් ගාන කිව්වට ඔයාලට අදහසක් නැතුව ඇතිනේ කෑම කරලක size එක ගැන. ඔන්න ඒකේ photo එකක් දැම්මා පහළ. මේක ජලයට දැම්මාම පොඩ්ඩක් පිම්බෙනවා. මේ කවන්නේ අගල් 6ත් 8ත් අතර Arowanaක්ට.


6 දින:
  • අද උදේ කෑම කරල් 5යි.
  • හවස කෑම කරල් 5යි.
Arowanaනන් දැන් හොදට පුරුදුවෙලා වගේ. දැන් ටැංකිය ළගට ගිහින් ටිකක් වෙලා ඉන්නකොට එයත් එනවා ළගට. Bichirගේ නන් තාම කන පාටක් නෑ. මොනාහරි action එකක් ගන්න වෙයි වගේ ළගදිම.

7 දින:
  • අද උදේ කෑම කරල් 5යි.
  • හවස කෑම කරල් 5යි.
ඔන්න දැන් සතියක් නන් ගෙවුනා. දැන්නන් Arowana හොදට හීලෑ වෙලා තියෙන්නේ. කෑම දානකොටම එතනට ඇවිල්ලා කනවා. තව සති කිහිපයක් මේ විදියට කරල් 5 ගානේ දවසට දෙපාරක් කන්න දෙනවා. දවසට දෙපාරක් දෙන නිසා මේ ප්‍රමාණය තව කාලයක් යනකන් ප්‍රමාණවත් බවක් තමයි මට පේන්නේ.

මගේ Arowanaනන් තාම මට ඇහෙන්න හෝ දකින්න ජලයෙන් පිටට පැන්නේ නෑ. සමහර විට මම හිතපු විදිය හරි යන්න ඇති. එයාට උඩ වහළ පැහැදිලිව පේනවා ඇති. හැබැයි එක සැරයක් ඇගෙන් බාගයක් විතර එළියට දාලා මොකෙක්වහරි අල්ලන්න try කරා උඩ හිටපු. මදුරුවෙක්, මැස්සෙක් වෙන්න ඇති.

දැන් අපි හැමදාම Bichir ගැනැත් පොඩ්ඩක් ලියනවනේ. අද තමයි එයා පළවෙනි වතාවට කනවා දැක්කේ. Arowanaට හවස කන්න දාපු ගමන් Arowana ඒ කරල් 5 කටවල් දෙකට තුනට ගිල්ලා. Bichirලා සුවදින් කියනවනේ කෑම හොයාගන්නේ, සුවද ඇවිත් වෙන්න ඇති Bichir ටැංකියේ පතුල පුරා ඉව අල්ල අල්ල යන්න ගත්තා. මට හිතුනා බඩගිනි වෙලා වෙන්න ඇති කියලා හැබයි ඉතින් sure එකක් තිබ්බේ නෑ. පස්සේ මම දැක්කා පා වෙලා ආපු කෑම කෑල්ලක් වගේ එකක් මෙයා ගිලිනවා. මට හිතුනා එහෙනන් මෙයත් දැන් කන්න ලෑස්ති කියලා. දැන් මෙයාට ගිලෙන විදියට කෑම දෙන්න තමයි ඕන. ඔයාලට මතක ඇති දෙවෙනි දවසේ මම Arowanaට දුන්න 3 වෙනි කරල කටට අරන් විසික් කරා කිව්වා. ඒ කරල එදා කටින් දැම්මයි පස්සේ ගිලුනා. ඒක මතක් වෙලා මම කරේ yogurt කෝප්පයකට වතුර ටිකක් ගත්තා. අර Arowanaට දෙන කෑම ජාතියේම කරලක් දෙකට කඩලා (full එකක් පළවෙනි පාරම නොදා ඉන්න හිතුවා) එක බාගයක් yogurt cup එකේ යට තියාගෙන ඇගිලි දෙකෙන් තද කරා. දැන් මේක ගිලෙනවා. ඊට පස්සේ ටැංකියට දැම්මා. Arowana ගිලෙන ඒවාට එච්චර අවදානයක් දෙන්නේ නෑ, ඒකමනේ Bichir ගෙනාවේ. ඒ කරල් භාගේ යටට ගියයි පස්සේ ඔන්න Bichir යනවා ඉව අල්ල අල්ල වටේට. මම කලින් කිව්වනේ එයාලට ඇස් පේනවා අඩුයි කියලා. මගේ එක්කෙනාට සෑහෙන්න පෙන්නේ නෑ වගේ 😅 (තාම පොඩි නිසාද දන්නේ නෑ) මොකද එයා කෑම එක උඩිනුත් පීනලා ආයේ කැරකිලා එනවා ඉව අල්ලන්. ඔන්න කොහොමහරි කෑම කෑල්ල කටට set කරන් ගිල්ලා. දැන් ඉතින් මටත් සතුටක් ආවා. එහෙම භාගේ භාගේ කඩලා කරල් 3ක් විතර වෙන්න කවාගත්තා. ඒ හැම කෑල්ලම ඉව අල්ලලා අමාරුවෙන් හොයන් තමයි කෑවේ.


හෙට වතුර පොඩ්ඩක් අඩු කරලා පතුලේ තියෙන කුණු ටිකත් අයින් කරලා ආයේ අලුත් වතුර ටිකක් පුරවන්න ඕන. ඒ අලුතින් පිරෙන වතුර ප්‍රමාණයට නියම මාත්‍රාවට අර Arowana Guard chemical එකත් මිශ්‍ර කරනවා.

අපි ආයේ මාසෙකින් හම්බ්වෙමු tank update එකක් සමග මේ tank එකේ. 

උපදෙසක්:
මට ඔයාලට අවසාන වෂයෙන් පොඩි උපදෙසක් දෙන්න තියෙනවා. ඔයාලා මේ වගේ මාළුවෙක් හදනවනන් ඒ ඒ මාළු ජාතිය හදලා තියෙන අයගෙන් උපදෙස් ගැනීම හොදයි. නමුත් හැම වෙලාවෙම එම උපදෙස 100% හරි නෑ, ඒ උපදෙස කොච්චර දන්න කෙනෙක්ගෙන් හම්බවූවත්. ඒක නිසා හැම වෙලාවෙම උපදෙසක් ලබාගද්දී ඒවාට හේතු කාරණා අහගෙන නිවැරදිව නිරාකරණය කරගන්න. කරන දේට වඩා කරන හේතුවයි වැදගත්. මොකද ඔයා ගන්න වගේ මාළුවෙක් ඉන්නේ ඔයාට විතරයි (වෙන ඒ ජාතියේ හිටියට, ඒ හැසිරීම්ම නෑ), එවගේම ඔයාගේ වගේ ටැංකියක් තියෙන්නේ ඔයාට විතරයි.

Arowana ඇති කරන අයට විශේෂ කරුණක්:
Arowanaලා කෑම කෑමෙන් දින ගනන්, සති දෙක තුන වැළකි සිටීම සාමාන්‍ය දෙයක්. මේකට නිතරම වගේ බලපාන හේතුව මාළුවා යම් කිසි පීඩනයකට (stress) ලක් වීම. කෑම ජාතිය වෙනස් කිරීම, මාළුවාගේ අවට පරිසරය වෙනස් වීම්, ජලයේ පරාමිතීන් වෙනස් වීම් වැනි දේවල් Arowanaගේ එවැනි හැසිරීම් වලට බලපානවා. මේ වගේ අවස්තාවලට, වඩා ඉවසීමෙන් යුතුව කටයුතු කරොත් මාළුවාට කිසිදු හානියක් වන්නේ නෑ. 
අනෙකුත් රෝග ලක්ශන පිළිබදව අවධානයෙන් සිටින්න!!!

⇚ Arowana සමග පළමු සතිය (Part I)...

Comments

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]