Arowana සමග පළමු මාසය (Part II)

Arowana සමග පළමු මාසය (Part I) කියෙව්වේ නැත්තන් මේ ලිපියේ අවසානයේ තියෙනවා link එක. අපි පළවෙනි කොටසේ අවසානයේ අහපු ප්‍රශ්නෙට උත්තරෙත් එක්ක පටන්ගමු මේ කොටස.

මේ බෝල දාන්න හේතුව තමයි Arowanaලගේ ඇහේ ඇතිවන drop eye තත්වය. Drop eye කියන්නේ Arowanaගේ ඇස පහළට දිස් වෙලා තියෙන එක. ඇස උඩ තෙල් තට්ටුවක් බැදීම නිසා Arowanaට ඇස උඩට හරවන්න අමාරු වෙනවා. හුගක් වෙලාවට මේක ඇති වෙන්නේ එක ඇසකට පමණයි. හැබැයි ඇස් දෙකටම වෙච්ච Arowanaලත් මම දැකලා තියෙනවා. Arowanaට හරියට feed කරනවානන් මේ drop eye තත්වය ඇති වීම සෑහෙන දුරට වළක්වාගන්න පුළුවන්. ඒවුනාට එන්නෙම නෑ කියන්න බෑ, ජාන බලපාන්නත් පුළුවන්. හුගක් silver arowanaලගේ drop eye දකින්න තියෙන්නේ ජානමය හේතුවක් නිසා වෙන්න පුළුවන්. Drop eye වලට තව හේතුවක් වෙන්න පුළුවන් ඕනාට වඩා එළියෙන් වැඩි tank light යොදාගන්න එක. එතකොට Arowanaලා උඩ බලන්න මැලිකමක් දක්වන නිසා. ඇස නිතර exercise වන ආකාරයේ active fishලා යොදාගැනීමත් මේ තත්වය වලකාගන්න හොදයි. Drop eye දරුණු තත්වයක් ඇති උනොත් operation කරලා තමයි ඉවත් කරන්න වෙන්නේ. දරුණුවට නැත්තන් වෙනත් ප්‍රතිකර්ම තියෙනවා වෙන්න පුළුවන්. ලංකාවේ එහෙම operation කරන මම දන්න තැනක link එක තියෙනවා පහළ. ඔයාලා එහෙම ප්‍රශ්නෙකට මුහුණපාලා ඉන්නවනන් ඒ අයව contact කරලා විස්තර දැනගන්න.

For Drop Eye operations: C.I.Arowana import


Internet එකෙන් අරන් drop eye හැදුන silver arowana කෙනෙක්ගේ video එකක් දැම්මා ඔයාලට බලාගන්න මොකද්ද මේ scene එක කියලා. Video එකේ ඉන්න Arowanaටනන් දරුණුවට drop eye. හුගක් අය මේක ගැන අහලා නෑ. ඒක නිසා තමයි මේ කරුණු ටික කියන්න හිතුවේ.

මගේ Arowana ගැන ඉතින් මේ මාසෙට කියන්න තිබ්බ කරුණු දැන් ඔක්කොම කියලත් ඉවරයි. මෙහෙම දෙයක් කරමු. අපේ මේ article වල අරමුණ නිකන් මගේ Arowanaයි, එයාගේ tank matesලා ගැනැයි කියන එක නෙමෙයි නේ, අත්දැකීමක් තුළින් ප්‍රායෝගික කරුණු පිළිබද දැණුමක් ලබා ගන්න එක. ඒක නිසා ලිපියේ මේ කොටසින් මගේ නොවුණත් මේ මාළු ඇති කරන hobby එකේ ඉන්න දැවැන්ත පුද්ගලයෙක්ගේ Arowana පිළිබද ඔහුගේ අත්දැකීමක් ගැන අපි කතා කරමු. මේ කියන්න යන කතාව හුගක් අය දන්නවත් ඇති. නමුත් මම ඒක කියන්න හිතුවේ අපිට බොහෝ වැදගත් කරුණු කිහිපයක් ඒ කතාවෙන් ගන්න තියෙන නිසා.

කාගේ Arowana ගැනද කියන්න යන්නේ මේ? 
මේ කියන්න යන්නේ YouTubeහි "The king of DIY" channel එක කරන Joey Mullenගේ Arowanaක් ගැන. ඔහු කියන විදියට ඔහු වසර 10කට වඩා Arowanaලා ඇති කරලා පළපුරුද්දක් ඇති අයෙක්. මේ කියන්න යන Arowana එයා ගාව අවුරුදු 5ක් පමණ හිටපු මාළුවෙක්. මෙම ලිපිය ලියන්න සති කිහිපයකට පෙර ඔහු ඉතා විශාල මාළු ටැංකියක් සාදා නිම කරා. එහි වතුර ධාරිතාව ගැලුම් 2000ක් වන බවයි ඔහු පවසන්නේ (ලීටර් 7600ක් පමණ). මේ ටැංකියේ යටට වැලි යොදා තිබූ අතර ලස්සන driftwood decoration එකකුත් කරලා තිබ්බා. මේ ටැංකිය නිම කිරීමෙන් පසු ඔහු ඔහුගේ සාමන්‍ය ටැංකියක ඇති කළ අවුරුදු 5ක් වයසැති Arowana මේ අලුත් ටැංකියට මුදා හැරියා. නමුත් මේ Arowana වැඩි කල් ජීවත් වීමට වාසනාවන්ත උනේ නෑ. මේ විශාල ටැංකියට දාලා සතියක් වගේ යන්න කලින් ඉතා අවසානාවන්ත අත්දැකීමකට මුහුණ දුන්නා. ඔහු කියන ආකාරයට ඔහුගේ Arowana එක පාරට කලබල වෙලා ජලයෙන් උඩට වගේ පැනලා. උඩට පැනලා අයේ වැටෙනකොට ඇග අර ලස්සනට දාලා තිබ්බ driftwood එකක වැදිලා. ටැංකියේ උඩ cover එකයි ජල මට්ටමයි අතර ලොකු ඉඩක් නැති නිසා වැටෙන දුර අඩු නිසා ඔහු හිතන විදියට එයින් දරුණු හානියක් වෙලා නෑ. හැබයි ඒකට තවත් කළබල උන Arowana දෙපැත්තට වේගයෙන් පීනමින් වටේ ටැංකියේ බිත්තී වල වැදී ශරීරයේ ඇතුලතට විශාල හානියක් සිදු කරගෙන. දින කිහිපයක් විදවලා මේ Arowana මැරුණා.😭

දැන් තමයි අපට වැදගත් කරුණට එන්නේ.
මුළින් ඔහුගේ මේ ටැංකිය සහ එහි driftwood වර්ණනා කළ අය දැන් එක පාරට මේ අනතුරත් සමග driftwood එක දාපු එක ගැන විවේචනය කරනවලු. හුගක් අය කියන දෙයක් තමයි Arowanaලගේ ටැංකියට driftwood දාන්න එපා කියන එක මොකද Arowanaලා ඒවායේ හැප්පිලා අනතුරු කරගන්න තියෙන හැකියාව නිසා. ඔහු විසින්මද මේ කරුණ කලින් ඉදිරිපත් කර තියෙනවා. නමුත් මේ පාර ඔහු ඒක අනුගමනය කළේ නැහැ. ඔහු මේ විවේචන වලට සහ ඔහු මේ driftwood යොදා ගැනීම පිලිබද ලස්සන පිළිතුරක් ලබා දුන්නා.

"අපි සාමාන්යයෙන් Arowanaලා ඇති කරන්නේ Arowanaලට සාපේක්ෂව කුඩා ටැංකිවල. ඒ නිසා driftwood වැනි decoration නිසා මාළුවාට තවත් ටැංකියේ ඉඩ අඩු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල Arowana ඒ decoration වල වැදිලා තුවාල වෙන්න පුළුවන්. නමුත් මේ අලුත් ටැංකිය ගැලුම් 2000ක ටැංකියක්. Arowanaට ඕන තරම් ඉඩ තියෙනවා නිදහසේ පිහිනන්න. අවශ්‍යනම් තව Arowanaලා කිහිප දෙනෙක් සහ driftwood කිහිපයක්ම මෙහි දාන්න පුළුවන්. මෙම සිදුවූ අනතුර ඉතා අහඹු සිදුවීමක්. සිදුවීම් පෙළක් අවසානවන්ත ලෙස එකක් පස්සේ එකක් සිදුවීමෙන් වුනු අනතුරක්. මිනිස්සු හරි පුදුමයි සිදුවීමක් ඇසුරෙන් ඒ අනුව ප්‍රතිචාර දැක්වීමට හැඩගැහෙන විදිය. එක කාලෙකදි ලස්සන driftwood decoration එක, අනතුරට පස්සේ driftwood නොදා ඉන්න තිබ්බේ කියනවා. කොහොම නමුත් මම driftwood ඉවත් කරන්න බලාපොරොත්තුවක් නෑ, සමහරවිට තවත් driftwood එකතු කරන්න ඉඩ තියෙනවා."

Joey මෙහෙම කිව්වේ අලුතින් තව කුඩා Arowana පැටවෙක් මේ ගලුම් 2000 ටැංකියට එකතු කරමින්. ඔහු තව දුරටත් කිව්වේ "මට කියන්න බෑ මේ අලුත් Arowanaටත් කලින් Arowanaට වෙච්ච දේම වෙන එකක් නෑ කියලා. නමුත් එහෙම වෙන්න හේතුවක් නෑ. කලින් Arowana කිසිම decoration එකක් නැති ටැංකියක හැදුනු වැඩුනු කෙනෙක්.  මේ Arowana තාම පොඩි නිසා එයා ලොකු වෙනකොට හෙමීට මේ පරිසරයට පුරුදු වේවී."
මේ පිළිතුරු ලබාදුන්න video එක පහළින් ඔයාලට බලන්න පුළුවන් (විනාඩි 7.37 සිට ඉදිරියට).


Joey මිනිස්සු ගැන කිව්ව කතාව හරියටම හරි. ඔහුගේ මේ කතාවේ වැදගත්ම කරුණ ලෙස මම දකින්නේ ඒකයි. තව ඉතින් අපේ කෙනෙක්ට ඔහොම උනානන් එයා මුළින්ම කරන්නේ driftwood ටික අයින් කරන එක. ඊට පස්සේ ආයේ කිසි කෙනෙක්ට ඊට වඩා ලොකු ටැංකියක් තිබ්බත් driftwood දාන්න දෙන්නේ නෑ. එයා එයාට වෙච්ච අත්දැකීම කියලා නවතින්නේ නෑ. "බලපන්කෝ උඹේ මාලුවත් කොටේ වැදිලා මැරුණම.." වගේ එවත් කියනවා. ඇත්තටම අත්දැකීම් බෙදාහදාගන්න එක හමෝටම වටිනවා. මාත් කරන්නේ ඒකමයි. ඒ වුනාට ඔය දෙවෙනියට කිව්වා වගේ ඒවටනන් මම කියන්නේ "ගොන් part" කියලා. මිනිස්සුන්ගේ අමුතු විවේචන ගැන ඔයාලා කල්පනාවෙන් කටයුතු කරන්න. මාළු ඇති කරන එකේදි විතරක් නෙමෙයි, ජීවිතේ හැම අවස්ථාවකදීම.

තව ඉතින් මේ කතාවෙන් ගන්න දෙයක් තියෙනවනම්, ඒ දේවල් අවබෝධ කරගන්න එක තමන්ගේ වැඩැක්. තව දුරටත් මේ කතාව විශ්ලේෂනය කළ යුතුයි කියලා මම හිතන්නේ නෑ.

මම හිතනවා මගේ මේ Arowanaගේ ලිපිය ඇසුරින් මොනාහරි දෙයක් ඔයාලත් ඉගෙන ගන්න ඇති කියලා. Arowanaක් හැදුවත් නැතැත් මේ hobby එකේ අය ඕනෑම මාළුවෙක් ගැන යම් දෙයක් දැනගෙන සිටීම වැදගත් කියන එක මගේ විශ්වාසයක්. මම ඒකයි මගේ Arowanaගේ දින චර්යාවට අමතරව දැනුමට තවත් කරුණු එක කරන්නේ. අපි නැවත හමුවෙමු මේ වගේ ලිපියකින් අලුත් දැනුමක් එකතු කරන්න බලාපොරොත්තුවෙන්. හැම දෙනාටම සුභ පැතුම්.

⇐⇐⇐Arowana සමග පළමු මාසය (Part I)

Comments

Post a Comment

Popular posts from this blog

ඉබ්බෙක්ද? කැස්බෑවෙක්ද?

ටැංකියේ අලුත් ජලය අපැහැදිලි වෙන්නේ ඇයි?

මාළුන්ටත් පණු බෙහෙත් [UPDATED]